රත්නපුරේ සහ කෑගල්ලේ ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් නැවතීමට එකඟතාවක්

ඉරිදා සහ පසළොස්වක පොහෝ දිනවල උදේ 8ත් පස්වරු 1ත් අතර රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ නගර සහ ගම්බද ප්‍රදේශවල කිසිදු උපකාරක පන්තියක් නොපැවැත්වීමට සබරගමුව පළාතේ උපකාරක පන්තිවල ප්‍රධානීන් සහ ගුරුවරු පිරිසක් ඉකුත් 6 දා සබරගමුව පළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා, සබරගමුව පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් යන මහත්වරු සහ සබරගමුව පළාත් ශාසනාරක්ෂක බලමණ්ඩලවල අධිකාරී නාහිමිවරුන් හමුවේ එකඟතාවය පළ කළහ. 
සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා විසින් කඳවන ලදුව සබරගමුව පළාත් ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබූ රැස්වීමකදී පෞද්ගලික උපකාරක පන්ති ප්‍රධානීහු එලෙස එකඟතාවය පළ කළහ. 
සබරගමුව පළාත් සභාව 2010 වසරේදී සම්මත කර ඇති අධ්‍යාපන ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් පෞද්ගලික උපකාරක පන්ති ඉරිදා දිනවල සහ පොහොය නිවාඩු දිනවල උපකාරක පන්ති පැවැත්වීම නිසා දිගින් දිගටම බෞද්ධ සහ වෙනත් ආගමික අංශවල දහම් පාසල් අධ්‍යාපනය අඩාල වෙමින් පවතින බව සඳහන් කරමින් සබරගමුව පළාත් ශාසනාරක්ෂක බලමණ්ඩලවල නාහිමිවරුන් ආණ්ඩුකාරවරයා දැනුම්වත් කර එයට නීතිමය විසඳුමක් ලබාදෙන ලෙස කළ ඉල්ලීම මත මෙම රැස්වීම කඳවා තිබිණි. 
මෙහිදී ආරම්භක දේශනය කරමින් අදහස් දැක්වූ සබරගමුව ප ළාත් ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මාෂල් පෙරේරා මහතා කියා සිටියේ දහම් පාසල් අධ්‍යාපනය නොලබන සිසුන් කොතරම් ඉහළ අධ්‍යාපනයක් ලැබුවද ඔහු යහපත් සදාචාර සම්පන්න පුරවැසියෙකු නොවන බවයි. ළමා කාලයේදී දහම් පාසල තුළින් ශික්ෂණය ලැබීම හොඳ පුරවැසි සමාජයක ලකුණක් බව සඳහන් කළ ආණ්ඩුකාරවරයා සබරගමුව පළාත් අධ්‍යාපන ප්‍රඥප්තිය කඩකරමින් ඉරිදා දිනවල පන්ති පවත්වන මධ්‍යස්ථාන වැටලීමට පියවර ගන්නා ලෙසට පොලීසියෙන් ඉල්ලා සිටියේය. 
ඉන්පසුව නීතිමය පදනම ගැන සබරගමුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් මහතා අදහස් දැක්වීය. 
තමා යටතේ පොලිස් ස්ථාන 36ක් පවතින බවත් ඉරිදා දිනවල පෙරවරුවේ උපකාරක පන්ති පවත්වන ස්ථාන සම්බන්ධයෙන් වැටලීම් සිදු කිරීමට ක්‍රියා කිරීමට තමා වහාම ස්ථානාධිපතිවරුන්ට නියෝග කරන බවද නමුත් එසේ කළ හැක්කේ අධ්‍යාපන ප්‍රධානියෙකුගේ හෝ දහම් පාසල් ප්‍රධානියකු පොලීසියට කරන පැමිණිල්ලක් මත පමණක් බවද කීය. 
මේ අවස්ථාවේ උපකාරක පන්ති ප්‍රධානීන් කීපදෙනෙකු අදහස් දක්වමින් පැවසුවේ ඉරිදා දිනවල සහ පොහොය නිවාඩු දිනවල පස්වරු පස්වරු 1.00 තෙකේ 11 වන ශ්‍රේණිය දක්වා පාසල් යන ළමුන්ට පන්ති නොපවත්වන බවත් එහෙත් 12 වන ශ්‍රේණයේ ඉගෙනීම් කරන සිසුන් දහම් පාසල් නොයන හේතුව මත ඉරිදා දිනයේ උදය වරුවේ ඔනුන්ට පන්ති පැවැත්වෙන බවත් නොදැනුවත්කම නිසා යම් ස්ථානයක ඉරිදා දිනයේ පහළ ශ්‍රේණිවල උපකාරක පන්ති පැවැත්වේ නම් එම පන්ති නතර කරවීමට දැනුම් දෙන බවත් ගුරුවරු පැවසූහ. 
මේ අනුව දෙපාර්ශ්වයේම එකඟතාවය මත ගැටලුව සාමකාමීව විසඳුණු අතර ප්‍රඥප්තිය කඩකරමින් කටයුතු කරන උපකාරක පන්ති ගැන සෝදිසි කරන ලෙසට ආණ්ඩුකාරවරයා පොලීසියට උපදෙස් දුන්නේය. රත්නපුර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති බෙංගමුවේ ධම්මදින්න, ලේඛකාධිකාරී කෝම්පිටියේ සුසිල හිමිවරු ප්‍රධාන කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල නාහිමිවරුද, හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් පූජකවරු සහ සබරගමුව පළාත් නියෝජ්‍ය පොලිස්පති රොහාන් ඩයස් මහතා සහ සබරගමුව පළාත් සභාවේ අධ්‍යාපන ප්‍රධානීහු රැසක්ද මෙම අවස්ථාවට සහභාගි විය. 


Share this

This will be implemented, based on the latest Embilipitiya, Ratnapura District, including the entire website brought to you news Embilipitiya. You can be reported to us in the news. You also have the opportunity to write articles like kind and ready and we have to express them. So join with us. To raise awareness more friends.

0 Comment to "රත්නපුරේ සහ කෑගල්ලේ ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් නැවතීමට එකඟතාවක්"

Post a Comment

ads